අපගේ දැක්ම
ප්‍රිය මනාප සේවා ස්ථානයක් තුලින් අදට වඩා හෙට වඩාත් යහපත් මහජන සේවාවක් සැලසීම.

අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට  අනුකූලව සේවා සැපයීම සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන්  යුත්  කාර්යක්ෂම  තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම.

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ ගඟ බඩ පත්තුවේ වැලිගම කෝරළයේ උතුර නමින් හැදින්වූ අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය ග්‍රාම නිලධාරී වසම් 74 කින් සමන්විත විය.  ග්‍රාම නිලධාරී වසම් ප්‍රමාණය වැඩිවීම  හේතු කොටගෙන පරිපාලන කටයුතු වලදී ඇති වන  විවිධ ගැටළු හා රාජකාරීමය අපහසුතා සැලකිල්ලට ගෙන මහජනතාවට සමීප තිරසාර සේවාවක් ලබා දීමේ අරමුණින් රජයේ පරිපාලනය විමධ්‍යගත කිරිමේ ප්‍රතිඵලයක් වශයෙන් ග්‍රාම නිලධාරි වසම් 28ක් අකුරැස්ස ප්‍රාදේශිය මහ ලේකම්  කොට්ඨාශයෙන්  වෙන් කර අතුරලිය නමින් නව ප්‍රාදේශිය ලේකම්  කොට්ඨාශයක් 1998 නොවැම්බර්  මස 21 වන දින ප්‍රතිස්ථාපනය කරන ලදී. මෙම ග්‍රාම නිලධාරී වසම් 28  තුළ ගම් 93 ක්  පිහිටා ඇත.

මෙම කොට්ඨාශය,

උතුරින්  පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් ද

දකුණින් මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද

බටහිරින්  අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද

නැගෙනහිරින්  කඔුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද  මායිම් වී ඇත. 

කොට්ඨාශයේ වර්ග ප්‍රමාණය හෙක්ටයාර් 6303 ( ව. කි.මී. 63.03) කි. සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ගර්  ජාතීන් මෙම කොට්ඨාශය තුල ජීවත් වන අතර මුළු ජනගහනය 34780 කි.

ගොන්ගල  කදු ශිඛරයෙන්  ආරම්භ වන නිල්වලා  නදියේ පහත්  බිම්  ප්‍රදේශයේ  පිහිටා ඇති මෙම කොට්ඨාශය මුහුදු මට්ටමේ සිට අඩි 200 ත් 1400 ත්  උස්  බිමක පිහිටා ඇත.

 මෙම කොට්ටාශය මධ්‍යයේ පිහිටා ඇති වටිනා ශාඛ වලින් යුත්  වැලිහේන  රක්ෂිත වනාන්තරයද  ගිනිකොණ දිශාවට වන්නට පිහිටි ඔලියගම් කැලය හා ඌරුමුත්ත ග්‍රාම නිලධාරී වසමේ උතුරට මායිමව එළමල්දෙනිය රක්ෂිතය වැනි වූ වන වැස්මක් සහිිත ප්‍රදේශ පිහිටා  තිබීම පරිසරයේ සුන්දරත්වය ඔප්නැංවීමට හේතු සාධක වේ. මෙම වනාන්තර අතරින් ඔලියගම්  කැලයේ  අක්කර 500 ක් පමණ වූ භූමි ප්‍රදේශයක ජෛව විවිධත්ව  උද්‍යානයක් පිහිටා  තිබීම ඉතා වැදගත් වන අතර ශ්‍රී ලංකාවේ පළමු වෙනි ජෛව විවිධත්ව උද්‍යානය වන්නේ  ද මෙම වනාන්තරයයි. මෙහි ලෝකයේ ඇති දුර්ලබ හා වදවීමේ තර්ජනයට ලක්වූ ශාඛ විශේෂ ද දක්නට ලැබේ. " විල්පිට දණ්ඩියා " නැමැති ශ්‍රී ලංකාවට ආවේණික වූ මාළු විශේෂය සිටීම ද වන පියසෙහි සුන්දරත්වය වැඩි වීමට හේතුවක් වේ.

ඉපැරණි රජමහ විහාරයක් වන ගොඩපිටිය රජමහා විහාරය මෙම කොට්ඨාශයේ පිහිටා ඇත. සුප්‍රසිද්ධ සව්  සද්ධම්වාදයට  මුල පිරූ ගංගා රෝහණ වර්නණාවේ මූලාරම්භක ස්ථානයක් වශයෙන් ගොඩපිටිය රජමහා විහාරස්ථානයට අද්විතීය ස්ථානයක් හිමිවී  ඇත. පුරාණ නාග ගෝත්‍රිකයන්ගේ දේවාලයක් වන ඌරුමුත්ත දේවාලයද ඓතිහාසික ස්ථානයකි.

දිවයිනේ ප්‍රධාන පැරණි මුස්ලිම් දේවස්ථානයක් වන ගොඩපිටිය පෝර්වෛයි මොහියදීන් මුස්ලිම් දේවස්ථානය මෙම ප්‍ර‍දේශයේ පිහිටා ඇති අතර, වන්දනා ආඥා පනත යටතේ වාර්ෂිකව සිදු කරන ආගමික උත්සවය නිසා දිවයිනේ මුස්ලිම් බැතිමතුන්ගේ වන්දනා ස්ථානවක් බවට පත්වී ඇත.

විසිවන සියවසේ ලංකාවේ ජීවත් වූ ජන නායකයන් අතරින් දිවංගත දොස්තර  සුජීස්වර අබේවර්ධන වික්‍රමසිංහ මහතාගේ උපන් ගම අතුරලිය වේ. ශ්‍රී ලංකා කොමියුනිස් පක්ෂය ආරම්භ කර එහි නායකත්වය ගෙන කටයුතු කල එතුමා මෙම පක්ෂයට අයත්වන අකුරැස්ස මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් දීර්ඝ කාලයක් සේවය කිරීම නිසා අතුරලිය ප්‍රසිද්ධියට පත් විය.

1999 සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන් හා ප්‍රාදේශිය උප දිසාපතිවරුන්  පිළිබඳ විස්තර  
නම සිට දක්වා
ඒ. එම්. විජේසිංහ මයා 01-01-1999 15.01.2005
ඩී. ඒ. ඒකනායක මයා 20-01-2005 29. 01.2006
බී. රණවීර මයා 30-01-2006 05-06-2007
අයි. එස්. සමරකෝන් මයා 06-06-2007 06-01-2013
චින්තක අබේවික්‍රම මයා 07-01-2013 13-09- 2013
ටී. ජී. සරත් කුමාර මයා 14-09-2013 14-09- 2017
දීපිකා කේ. ගුණරත්න මිය 17-09-2017 29-05-2018
නිරෝෂා එස්. ගමගේ මිය  30-05-2018
 
Scroll To Top